Saturday, July 21, 2012

දිගැසියේ II



දිගු දෑසෙ බැල්ම ඔබගේ 
ඇයි සොඳුරු ඔය හැටී'''''''''


දිගැසියේ I

ඈ සුන්දරය.ඒ සුන්දරත්වය විඳ ගැනීමට මා ඇයට ලං වූවා වැඩි යැයි සිතෙන්නේ දැන්ය.කඳුළු පිරිණු දෑසෙහි කිසිදා නොදුටු ආකර්ශණීය බවක් මා එදා දුටුවා නොවේද.නැති නම් තමා සතුව තිබී සිතාමතාම අහිමි කරගත් දෙයක් අසු කලෙක දුටු විට කිසිදා නොදුටු අලංකාරයක් දැකීම මිනිස් සිතේ ස්වභාවයද? ලඟ තිබෙන දෙයක වටිනා කම දැනෙන්නේ එය අහිමි වූ කලය.
මා දුම්වැටිය විසිකර දමා ජනෙල් පඩිය මත හිඳගෙන ලියන මේසය වටා බිම වැටී ඇති කඩදාසි ගුලි ගණන් කිරීමට පටන් ගතිමි.මේ කඩදාසි මත ලියන්නට නොහැකි වූයේ මා ඇයට කල ආදරයේ තරම නොව ඈ මට කල ආදරයේ තරමය.වැස්සක් වී ඇද හැලුනු ඇගේ ආදරයට කුඩය ඉහිලූ මගේ මෝඩකමේ තරමය.අපේ කතාවට නැවතීමේ තිත තබා දැනට වසර දෙක තුනක් ගත වී හමාරය.වසර දෙක තුනකට පෙර පැවත නැතිව ගිය ආදරයක් ගැන සිත සිතා දුක් වන්නට තරම් මගේ සිත සංවේදී නැත.නමුත් දැන් දැන් ඒ අතීතයට යන්නට මගේ සිත ආශා කරයි.
ඈ මට මුල් වරට මුණ ගැසුනේ මගේ සොයුරියගේ පාසලට ගිය අවස්ථාවකදීය.අමතර පංතියකට සහභාගී වී ඇය බස් නැවතුම අසල මා එනතුරු බලා සිටියාය.ඇතැම් දින වල ඈ රැගෙන ඒමට පාසලට යාමට මට සිදු වේ.එයට හේතුව පාසලේ පැවැත්වීමට නියමිත නර්ථන ප්‍රසංගයේ පුහුණුවීම් පාසල් වේලාවෙන් පසුව පැවැත්වෙන නිසා සවස් වනතුරු එහෙ රැඳී සිටීමට සිදු වීමය.යතුරු පැදියේ නැඟ පාසල වෙත ගිය මට අද දක්නට ලැබුනේ නංගි ඇගේ යෙහෙළියන් දෙදෙනෙකුද සමඟ සිටින බවයි.එයින් එකියක් සුදු කෙල්ලකි.පමණට වඩා මුහුකුරා ගිය බවක් ඇගේ මුහුණේ සහ හැසිරීමෙහිද දක්නට ලැබිනි.නමුත් මා ඇස නතර වූයේ ඈ අත පටවලවාගෙන යමක් මුමුණමින් සිටි හුරුබුහුටි පෙනුමක් ඇති අනෙත් කෙල්ල ලඟයි.

ඇගේ දිගැටි ඇස් මගේ සිතේ තැවරෙන්නට එතරම් වේලාවක් ගත්තේ නැත.ඇය තලෙළුය.පියකරු පෙනුමක් ඇත.පිරිමියෙකුගේ සිතේ නැවතීමට තරම් කලාතුරකින් දක්නට ලැබෙන සුන්දරත්වයක් ඈ සතුය.සිනාසෙන විට සිහින් වන ඇගේ දෑස් දෙස දෙවරක් බලා නොසිටීමට මට නොහැකි විය.කරල් දෙකකට ගෙතූ ඇගේ කෙටි කොණ්ඩය ඇගේ දඟකාරකම විදහපෑවේය.පිටතින් කිසිඳු වෙනසක් නොපෙන්වූ මම නංගීට යතුරු පැදියට ගොඩවන ලෙස පැවසීමි.එවිට ඇය කීවේ ඇගේ යෙහෙළියන් දෙදෙනය බස් රිය පැමිණෙන තුරු මට එහි රැඳී සිටීමටය.මා එයට එක පයින් කැමැත්ත පල කර බස් නැවතුමට මඳක් ඉදිරියට වන්නට යතුරු පැදිය නතර කොට කිසිඳු වෙනසක් නොපෙන්වා පාරේ ගමන් කරන වාහන දෙස බලා සිටියෙමි.එහෙත් මා නොදැනුවත්වම මගේ ඇස් සෙව්වේ අර හුරුබුහුටි කෙල්ලවම නොවේද. ඉඳහිට හෝ ඈ මා දෙස බලතැයි මා බලාපොරොත්තු උනෙමි.එකිනෙකාට කොඳුරමින් මුකුළු කරමින් සිටි කෙල්ලන් තිදෙන අතර මා මිනිත්තු කිහිපයකට තනි වූයෙමි.

මඳ වේලාවකින් බස් රථයක් පැමිණ කෙල්ලන් දෙදෙන නග්ගවාගෙන නොපෙනී ගියේය.ඉන්පසු මමත් නංගීත් ගෙදර යාමට පිටත් වුනෙමු.මඟ දිගට මට අසන්නට සිදු වූයේද ඇගේ යෙහෙලියන් පිලිබඳවමය.මමද කිසිවක් ගණන් ගන්නා බවක් නොපෙන්වා ඇගෙන් මා සිත් ගත් දිගැසිය පිළිබඳ හැකිතාක් දුරට විස්තර දැන ගතිමි. ඈ නමින් දිනිති ය.ඈත් මගේ නංගීත් ඉගෙනුම ලබන්නේ එකම පංතියේය.

නිවසට පැමිණ ඇඟපත සෝදා ඇඳෙහි වැතිර ඇගේ රුව සිහිපත් කරන්නට වීමි. මා ඇයට වඩා ලස්සන කෙල්ලන් කොතෙකුත් දැක ඇත්තෙමි.නමුත් මට ඒ වනවිට කිසිවෙකුගෙන් නොදුටු සුන්දරත්වයක් ඇයගෙන් පෙනෙන්නට පටන් ගෙන තිබිනි.


ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
පායන්න දෑස මානේ
උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගේ ගානේ
මේ හිත ම'සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොඳුරු ඔය හැටී''''

ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ගැහෙන හිත අනුහස අයදියි ප්‍රේමයේ
එය පමණක් ශෙෂය වී නම් වූ ආත්මයේ
ඔබ ගැවසෙන
මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදකලාව අවනඩුවක්
ගෑණු ළමයෝ''''

ඉටිරූපෙ අපූරුව විඳින්න
මං හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙන විට
මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් 
මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අදමෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක්
ගෑණු ළමයෝ'''''

ගායනය:- අමරසිරි පීරිස්


Tuesday, July 17, 2012

මටත් ලොවක් තිබුනා මතකයි_








හදිස්සියෙම facebook එකේ people you may know  කියල තියෙන තීරුවෙ තිබිල මම හොඳට පුරුදු නමක් දැක්ක.බලද්දි මගෙ ඉස්කෝලෙ මාත් එක්ක එකට ඉගෙන ගත්ත යාළුවෙක්.ප්‍රොෆයිල් එකට ගිහිල්ල නිකමට වගේ  බැලුව photos තියෙනවද කියල.අළුතෙන් කරපු වෙලඳ දැන්වීමක රූගත කිරීම් වලදි ගත්ත photos වගයක් තමයි මං මුලින්ම දැක්කෙ.කෙල්ල නම් දැන් මාර විදියට වෙනස් වෙලා ලස්සන වෙලා.එක පාරටම අඳුරගන්නත් බෑ.මං request එකක් දාන්නත් හදල නොදා හිටිය.මොකද මගේ හිතේ ගොඩක් ප්‍රශ්න මතු උනා.මෙයා මාව අඳුර ගනියිද? (profile එකේ තියෙන්නෙ මගේ දෙවෙනි නම.මගෙ යාළුවො දන්නෙ පළවෙනි නම විතරයි මං හිතන්නේ).අඳුරගත්ත කියමුකො ඒත් මෙය මගෙ request එක confirm කරල මාත් එක්ක chat කරයිද?ඒ කරත් අපේ පරණ යාළුකම ඒ විදියටම ආයෙමත් ඇති වෙයිද?කවදාවත් අපේ පරණ යාළුකම අපි අතරට ගේන්න බැරි වෙයි.මට හිතෙනව එයාල වෙනස් වෙලා ඇති.මතුපිටින් වගේම ඇතුලතිනුත්. කතා කලොත් ඒ වෙනස නිසා මගේ හිත ටිකක් රිදෙයි.
මගෙත් එක්ක එකට හිටපු යාළුවො දැන් ලොකු මිනිස්සු වෙලා.ඇත්තටම මට දැනෙන්නෙ ඊර්ෂ්‍යාවක්ද සතුටක්ද කියල මට වෙන් කරල අඳුරගන්න බෑ.ඒත් හදවතේ කොණක ලාවට වගේ පොඩි ආසාවක් තියෙනව යාළුවොත් එක්ක සැහැල්ලුවෙන් ගත කරපු ඒ කාලේට යන්න. අපේ හිනාහඬ , ඕපදූප,බයිට් කිරීම් වගේම රණ්ඩු සරුවල්,ඔරොප්පු වීම් අතර තිබ්බ යාළුකම ආයෙත් විඳගන්න මගෙ හිතට ආසාවක් ඇති වුනා.ඉස්කෝලෙ කාලෙ හිටපු යාළුවො කවදාවත් ආය එක තැනකදි දකින්න ලැබෙන්නෙ නෑ.ඒකයි ඇත්ත.අනිත් එක උන්ට දැන් අළුත් යාළුවො හම්බවෙලා ඇති.උන් එක්ක මට වඩා ෆිට් වෙලා ඇති..මෙන්න මේ හේතූන් නිසා පරණ යාළුවො හොය හොය request යැවීම මං අතෑරල දැම්ම.
මගේ පාසල් ජීවිතේ අවසාන වුනේ ටිකක් අවාසනාවන්ත විදියට.මට උසස් පෙළ විභාගෙට කලින් පාසලෙන් අයින් වෙන්න සිද්ධ වුනා.ඒකත් කැමැත්තෙන්ම.ඒක නිසා අවසන් වසර නිමා වෙන්න ගොඩ කාලෙකට කලින්ම යාළුවන්ගෙ මතකෙන් මාව මැකිල යන්න ඇති.ඒ කාලෙ මට ඒක එච්චර ගානක් නැති වුනත් දැන් දැන් හිතට දුකක් ඇති වෙනව.පාසලෙන් අයින් වෙන්න වුනේ වැරැද්දක් කරල නෙමෙයි පවුල් පසු බිමත් එක්ක මට විදෙස් ගත වෙන්න සිද්ධ වුනා.

ඒ කාලෙ සිද්ධ වුන අකරතැබ්බයන් සහ අනෙකුත් සිදුවීම් පස්සෙ කාලෙක කියන්න බලාපොරොත්තු වෙනව.අන්තිමට කියන්න තියෙන්නෙ පාසල් කාලයේදී හමු වුන මිතුරු කම මට මේ වන තෙක් තවමත් හමු වෙලා නෑ කියල තමයි.පාසල් කාලෙ ඉවර වෙනකන් ඒ දවස් වල බලන් හිටියත් දැන් තමයි ඒ සුන්දරත්වය තේරෙන්නෙ.
තවත් බර ගාණක් ඉස්කෝලෙ යාළුවො facebook එකේදි මට මුණ ගැහිල තියෙනව.ඒත් ඒ එක්කෙනෙක්ටවත් මන් request කලේ නෑ.ඒ කාලෙ යාළුකම කවදාවත් මූණු පොත හරහා ඇති කරගන්න බෑ කියන එක තමයි මගේ නම් අදහස.ඉතින් මං ඉඳල හිටල එයාලගෙ profile මතුපිටින් බලල පාසල් ජීවිතේ තනියම සිහි කර කර විඳිනව..ඒ අතරින් මගේ හිතට වැඩියෙන්ම දුක දැනෙන්නෙ ඉස්කෝලෙ අන්තිම දවසෙ කට්ටියම එකතු වෙලා ගත්ත පින්තූරෙ දකිද්දි.ඒකෙ මං විතරයි අඩු.




සඳක් බැස ගියා අවර ගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුනා මතකයි
මම ඉමි සිහිකරලා'''''''

නෙළුම් මල් පිපුනු දෙවැට දිගේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුනු කෙල්ලන් හා
මතකයි මගෙ බාලේ'''''''

විවේකයක් ලද විටදි අපී
දුව පැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ හිතට වදේ
නිතරම වරදිනවා'''''

ගමේ පාසලේ වැඩට අපී
පෙරමුණ ගෙන යනවා
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

ඉමක් කොණක් නැති අහස වගේ
කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුනා සේ
මුහුණේ සිනහ රැදේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට
 අද මට දැනෙනු වගේ
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ

Monday, July 16, 2012

දිගැසියේ


නුඹේ සිනා මගෙ සිත යට කඳුළු බිඳක් ඉතිරි කලා________




        දෙනෙත් වසාගත් වනම මා මොහොතක් කල්පනාවට වැටුනෙමි.හිස් කඩදාසියක් සහ පැන්සල් කොටයක් මා අත වෙයි.මගේ ජීවිතය ගැන හිතට එන දෙයක් ලියා තබා හෝ සැනසීමක් අත් කර ගැනීමට සිතුවද මා සිතට දැනෙන්නේ කියාගත නොහැකි හිස් බවකි.මා යනු කවරෙක්ද? පරාජිත ඊර්ෂ්‍යාකාරයෙකි.එහෙත් මා එසේ සිතීම සාධාරණද? සෑම මිනිසෙකු තුලම පරාජිතයකු සහ ඊර්ෂ්‍යාකාරයකු ජීවත් නොවන්නේද?
අතීතය ගැන සිතීමෙන් ඵලක් නැත.මා ජීවිතය නැවතත් ආරම්ඹ්හ කල යුතුය.මා මෙසේ සිතන්නේ කී වෙනි වතාවටදැයි මම නොදන්නෙමි.
 අඳුර වැටීමත් පෙර දැල්වූ විදුලි බල්බයේ ආලෝකයෙන් නිදන කාමරය එළිය වැටී ඇත.එහෙත් අඳුරෙන් වැසී ඇති මගේ සිත ආලෝකමත් කිරීමට එයට හැකියාවක් නැත්තේය.යන්තමට බඩගින්නක් දැනුන නිසාදෝ නොදැනුවත්වම මට බිත්ති ඔරලෝසුව දෙස බැලිනි.වෙලාව අට පසු වී ඇත.මා අතැති කඩදාසිය තවමත් හිස්ය.එය ගුලි කර විසි කර දමා මා හුන් තැනින් නැඟිට සිගරට්ටුවක් දල්වාගෙන ජනේලය අසලට ගොස් සිට ගතිමි.
 ගිනිගත් සිගරට් කොටය අගින් ඉපිද මගේ මුවඟින් වා තලයට මුහු වන දුම් වළලු මෙන් මගේ අතීතයද මේ රෑ අහසට එක් කර හරින්නට ඇත්නම්.
 අවසන් වරට ඇය හා මා තනිව මුණගැසුණු දිනය මට මේ මොහොතේ පවා ඒ අයුරින්ම සිහියට නැඟිය හැක.පෙර සිදු වූ අනෙක් සියළු දේ සිතින් මකා දැමීමට හැකි වූවානම් මේ සිදු වීම අමතක කල නොහැක්කේ මන්ද?
 දෙනෙත් කඳුලින් බරව තිබුනද අපහසුවෙන් මා සමඟ සිනාසී විටෙන් විට බිම බැලූ ඇගේ මුහුණ සිහියට නැඟෙන හැම මොහොතකම මගේ සිත වේදනාවට පත් වෙයි.
   ඇගේ මවාගත් සිනහව මට පැවසුවේ කුමක්ද? මා පව්කාරයෙකු බව නොවේද?
           
        හදවත තදකර
        අල්ලා සිටි නුඹ
        මා මුවඟින්
        පැනයන
        දුම් රැළි එක දෙක
        එක්කර 
        සැතපී ඒ මත
        පාවෙයි අහසට
        හදවත බර කර



    ඉතිරිය මතුවට...
 

***************************************************************************

ප.ලි. - හිතට ආපු අදහසක් කතාවක් කරන්න දරපු උත්සාහයක්. මේක ඇත්ත කතාවක් නම් නෙමෙයි. පිරිමි ඇසකින් බලල කතාව ලියන්න ගත්ත නිස පොඩි චකිතයක් තියෙනව.. මේක කියවල අඩු පාඩු කියල සහයෝගයක් දෙයි කියල බලපොරොත්තු වෙනව.
                               

Sunday, July 15, 2012

හදවත කියන කතාවක්_____ (2)





ඔබට දැන ගන්නම ඕනෙ නම් පෙම්වතුන්ගෙන් අහන්න,,, එක දවසක වටිනාකම කොච්චරක්ද කියල.
අපිට තරම් ඒකෙ වටිනාකම දැනෙන කවුරුවත් නැතුව ඇති.අපිට මුණ ගැහෙන්න ටික දවසක් බලන් ඉන්න වෙනව. ගෙවල් වලින් කොච්චර මුරකාවල් දාල තිබ්බත් අපි දෙන්න එදාට මුණ ගැහෙයි.ඔයා මාව පිළිගන්න පෙර මඟට ඇවිත් ඉඳීවි.මං ඇඟිලි ගනන් කරනව ඔයාව දකින්න.
මෙච්චර දවසක් හීනෙන් විතරක් දැකපු ඔය ඇස් දෙක හැබැහින් දකින්න, skype එකෙන්  අහපු කටහඬ ඔයගෙ ලඟ ඉඳන් අහන්න.කාටවත් ඇහෙයි කියල අපි කොඳුරපු රහස් ඔයාගෙ ඇස් දෙක දිහා බලාගෙන කියවන්න මං එන්නම්.
ආදරේ ලස්සන වෙන්නෙ ආදරේ කරන දෙන්නට එකතු වෙන්න ගොඩක් බාධක තිබ්බම කියල ඉස්සර හිටපු පඬිවරයෙක් කියල තියෙනවලු.
හ්ම්ම්.. අපිටත් තව කල්පයක් බලන් ඉන්න වෙයි.ඒත් මම ඒ කල්පය ගෙවෙනකම් බලං ඉන්න ලෑස්තියි.
ෆිල්ම් එකක් උනත් ලස්සන වෙන්නෙ ඒක ආදර කතාවක් වෙන්න ඕනෙ තව එතකොට අවංකව ආදරය කරන දෙන්නෙක් ඉන්න ඕනෙ. ඒ වගේම කොල්ල දුප්පත් වෙන්න ඕනෙ.තව එතකොට ඒ කොල්ලට කෙල්ලගෙ ගෙදරින් අකමැති වෙලා බාල්දි පෙරලන්නත් ඕනෙ.ආහ් ඒ වගේම කොල්ලයි කෙල්ලයි මල් ගස් වටේ දුව දුව කියන සිංදු දෙක තුනකුත් තියෙන්න ඕනෙ.අන්න ඊට පස්සෙ තමයි කෙල්ලයි කොල්ලයි එකතු වෙන්නෙ.
ඉතින් තව ටික දවසකින් අපි දෙන්නටත් සිංදු කියන්න අවස්ථාවක් එනව.